අපේ ලොකු හාමුදුරුවෝ

සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක

ගරු මාදෝවිට පඤ්ඤාකිත්ති හිමිපාණන්

සිරිලක ඌව පළාතේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මාදෝවිට ගම් පියසේ විසූ කිරිබණ්ඩා පියාණන්ට හා බංඩාරමැණිකේ මෑණියන්ගේ කණිටු පුතු ලෙස වසර 1941 ජූලි මස 03දින උපත ලැබූ අප නායක හිමියන් කුඩා කළ සිටම බුදු සසුන කෙරෙහි වඩාත් සමීප වූයේ සසර පුරුද්දට මෙන් විය. අවුරුදු 11 පිරෙන විටම සසුන්ගත වීමට තරම් පින්වත් වූ උන් වහන්සේ මාදෝවිට පඤ්ඤාකිත්ති නමින් පැවිදි බිමට ඇතුලත් වූයේ ගරුතර බිබිලිගමුවේ ගුණරතන හා මාදෝවිට පේමානන්ද හිමි වරුන්ගේ ආචාර්යත්වයෙනි. සිය මූළික පිරිවෙන් අධ්‍යාපනය දියතලාව සුධර්මාලංකාර විද්‍යායතන පිරිවෙනින් සම්පූරණ කළ පඤ්ඤාකිත්ති හිමි වැඩිදුර අධ්‍යාපනය සඳහා ලක්දිව කීර්තිමත් අධ්‍යාපනස්ථානයක් වූ පෑළියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වූ සේක. ප්‍රාචීන භාෂා හා බෞද්ධ දර්ශනය හදාරමින් ඉන් සමත්කම් පෑ අප නාහිමියන් වසර 1964 දී කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට වරම් හිමි කර ගත් අතර විශ්ව විද්‍යාලය තුළදී ලංකාවේ කීර්තිමත් ගිහි පැවදි පඬිවරුන් ඇසුරු කිරීමට ලැබීම උන් වහන්සේගේ ශාසනික හා සාමාජීය සේවාවන් වඩ වඩාත් ශක්තිමත් කිරීමට ලැබූ රුකුලක් විය. ශාස්ත්‍රවේදි උපාධිය අවසන් කළ පඤ්ඤාකිත්ති හිමියන් මාගම්මන ශ්‍රී සීලාලංකාර නා හිමිගේ හා පිටිපන ඤාණිස්සර නාහිමියන්ගේ ඇසුර ලබමින් තම ශාසනික සේවාවන් තව තවත් පුළුල් කරමින් වසර 1968 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ උපසම්පදාවට පත් විය. උපසම්පදාවෙන් අනතුරුව එවකට කුඩා කුටියකට පමණක් සීමා වූ බිත්තිවලකුඹුර පන්සල හෙවත් හෝමාගම පුරාණ විහාරයට වැඩම කළ පඤ්ඤාකිත්ති හිමියන් එතැන් පටන් අපේ පන්සල නගා සිටුවීමට හා ප්‍රදේශයේ බෞද්ධ ප්‍රබෝධය ඇති කර වීමට ඇප කැප වූ සේක. අද ඉතා මනරම් ව බැබලෙන මෙම විහාරස්ථානය උන් වහන්සේගේ අප්‍රතිහත කැපවීමේ ප්‍රතිපලයකි.

ගරුතර මාදෝවිට හිමියන්ගේ උදාර ශාසනික සේවාවට ලැබී ඇති පැසසුම් බොහෝය. වසර 1993 දී කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මගින් උන් වහන්සේ වෙත ශ්‍රී සද්ධර්මවාගීශ්වර ගෞරව නාමයද 2001 දී සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ධූරයද පිළි ගන්වනු ලැබීනි. මෙයට අමතරව උන් වහන්සේ පුදනු ලැබූ ගෞරව නාමයන් අතර 1998දී ලද 'ධර්ම කීර්ති ශ්‍රී ශාසන ජෝති' සම්මාන නාමයත් 'රත්න විභූෂණ' ගෞරව සම්මුතියත් සඳහන් කළ හැකිය.